Wednesday, April 29, 2015

හයයි විස්සේ බස් එක




හෙණකඳයා වගේ උන්
අපේ අප්පොච්චා
හෙණ ගැහුවා වාගෙ
ඇදන් වැටුනා
සෙනසුරාදා හයයි විස්සේ
බස් එකේ දොර කොඩෙන්
ගල්පිලිම වාගේ දෙවියනුත්
අහක බැලුවා…

හෙන හුරා ඇවිදින් චක්කරේ කිව්වා
වැවේ කුඹුර අපි සින්නෙටම වික්කා
බත් මුලේ හැමදාම කඳුළු කැට තිබ්බා
මක් කරන්නද අපි කියා දෙවියනුත් ඇහුවා

හයයි විස්සේ බස් එක
අපේ ජීවිත යට කර
"මහත්තයෝ මැදපොල්ල අල්ලං
ඉස්සරහටම යං"
මමයි දැන් කොන්දොස්තර
පවුලයම උර තියන
උගුර ලේ රහ වෙනකම් කෑ ගසා
සෙනඟ වෙනුවට කඳුළු ලෝඩ් කරන
හයයි විස්සේ බස් එක.…

R é D R ü M

M ü R D è R

බේබ්ද්දාගේ මලගම





පොලිමේ ඇස් අස්සේ
ගොඩ ගැසී කඳුළු මිනිසුන්
මතක මල්වඩම් ගෙන
හඬන්නට ඇවිදින්..

අදයි මලගම් දවස
නොආවත් නුඹ ආව
අවරගිර හිස දමා
මා මිනිය සැතපිලා..

මාපියන් නෑසියන්
අයා නෙත් ගොළුවෙලා
ලය පැලී ගිටාරය
මිනිය යට සැත පිලා..

තාප්පෙන් බිම වැටී
සිගරටුව හඬනවා
නුඹ තවම ආවේ නෑ
සොඳුර හද ගැහෙනවා..

නොආවත් උඹ ආව
මගේ මලගම අද තමා
හිතේ උතුරන පෙම අරන්
වඩිනු මැන හද පලා..

ඉතිං තව මොහොතකින්
යා යුතුව ඇත නික්මිලා
අවසරයි පෙම්බරී
නොමැත අප වෙන් වෙලා...

R é D R ü M

M ü R D è R

Monday, April 27, 2015

ගැහැණියට කවියක්




හැන්ඳෑ අහස
වැහි බිඳු එක්ක
යාළු වී හොරාට

එකින් එක
චුම්බනයෙන් මුසපත්ව
ලැජ්ජාවෙන් මුකුලිතව

සිපගනියි
පොලොතල…
ආදරයෙන් බදාන...

ලා දම් අහස
කඩා හැලි දේ දුන්න
වළාතිර ඉරන්
හඳ එබෙන ලස්සන

මුහුද ලඟ පඩිය
මගේ ලඟ තනියට
හිස හොවන් උරහිස
උඹ උන්නේ නම්

ගැහැණියක්ට පුළුවන්
මිනිහෙක්,
කවියෙක් කරන්නට...
මිනිහෙක්ට පුළුවන්,
ගැහැණියක්,
කවියක් කරන්නට…


R é D R ü M

M ü R D è R

Sunday, April 26, 2015

#Good_man, #fuck_yu



ඉර පිච්චෙන මහ දවාලේ හඳට යන්නට හිතන් පිටි පස්සේ දොර වහන් ඇට නටු අහුලමින් පිලිවලට සීරුවට ස්වීස්තියක් එතීම ඇරඹුවෙමි.

මන් මේ ගංජා පොඩ්ඩ අතින් ඇල්ලුවේ දවස් ගානකිනි.. වෙනදට පොඩ්ඩක් හම්බුනත් ගහල ඉවර කරනකම් ඉවසිල්ලක් නොතිබ්බ මම ගොඩක් ලඟ තිබිලත් අතින් වත් නොඅල්ලා ඉන්නට හික්මී තිබුනි.

මිනිස්සු,
ආදරේ කරන්නේ හොඳ මිනිස්සුන්ට..

මම කවුද???

හිත තුල කැකෑරෙන ද්වෙශය අද මගේ මත් වීමට හේතු වී ඇත.
කෙල්ලෝ නිසා වත් ප්‍රශ්න නිසාවත් මත් නොවුනු මම,
මත් බව ඇතෑරීම තුල ,
දේවේශය මත් ගතියට හේතුව වී ඇත.

කට්ට අව්වෙම තාප්ප සිංහාසනයට ගොඩ උනෙමි.
මම තරහක් පිරි මහිමින් හිඳියි..

ඇයි මිනිස්සු,
හොඳ මිනිස්සුන්ට විතරක් ආදරේ?
හොඳ මිනිස්සු කියන්නේ කවුද??
අරක්කු සිගරට් බොන
ගංජා ගහන උන් නරකද????

"හොඳ මිනිහෙක් වෙන්න ආදරේ කරන්න."

මම හොඳ මිනිහෙක් උනොත් මට ආදරේ කියන්නේ මහ කජ්ජක් නොවෙයි.
මග ඇරෙන දෙයක් නෙමෙයි.

අවාසනවකට හෝ වාසනාවකට
මේ මම ය..

පැත්තට ගෙවිච්ච රබර් කටු දෙක.
කකුල ලෙලි ගිය ඩෙනිම.
බාච්චුව වගේ ශර්ට් එක.
බරට බරේ බෙල්ල එල්ලෙන
මාල ටික.
හීරුන කිලිටු උන නොගලවන
සුදු යකඩ වලල්ල.
නොපීරුව අපිලිවල කොන්ඩේ.
බුලත් කහට බැඳුන දත් සෙට් එක.
අඬන්න ඕන වෙලාවටත් කට කොනින් යන හිනාව.
තොරතෝංචියක් නැති වලත්තකම..
ඕනවටත් වැඩි උද්දච්චකම..
අම්මට විතර හික්මිච්ච දඩබ්බරකම..

මේ මගේ ජීවිතයේ සාමාන්‍යන් ය.

උඹ මගේ ජීවිතයේ අසාමාන්‍ය වේ..

මිනිස්සු,
ආදරේ කරන්නේ හොඳ මිනිස්සුන්ට.

යක්ශයොන්ට නොවෙයි.
මිනිසුන් නරකට ආස කරනවා පමනි.ආදරය නොකරයි.

ස්වීස්තිය අහවරයි.
මත් උනා මදි. සිංහයෙක් බඩට දාගෙන තවත් ස්වීස්තියක් ඉරිය යුතුයි.

මේ මම..
එපා කරපු එකා,,

හොඳ මිනිස්සු එක්ක ඇති කේන්තිය තවම අහවර නැත. තව ටිකක් මත් විය යුතුය.

R é D R ü M

M ü R D è R

ප්‍රධාන නිලියට ලියමි..


______________

ඔබගේ රංඟනයන් ගැන කතා කිරීමට
දෙයක් නැත,,
ඔබත් මාත් හැරුන කොට ලෝකයට
හොර රහසේ රඟපු නාටකේ තුල 
තිර පිටපතට අදාල රඟනයත් සෑබෑවත් 
ශූන්‍ය කිරීමට තරම් ඔබ දක්ෂය.
එතෙක් මෙතෙක් ජීවිතයේ හමු වූ හොඳම
නිළිය ඔබයි…

මේ මොහොත වන විට 
මා හිත යටින් ඉතා කුහකකමින්
සතුටක් විඳිමින් සිටියි.…
මන් ද යත් උඹට අද මා ගැන වචනයක් 
හෝ ලියවී ඇත.
නාටකය අවසානවී හෝ මට එය දැක
ගැනීමට හමුවීම සතුටකි.

ග්ලිසරින් සැරට ගලනා උඹෙ කඳුළු 
වෙනුවට හෘදයාංගමව 
මා වෙනුවෙන් එක් කඳුළු බිංදුවක් පමනක්
උඹේ දෑස් මත රැඳෙනු බැලීමේ ආශවෙන්
නාටකේ පුරාවට මා බලා උන්නෙමි..
නමුදු අවාසනාවකට මට එම අවස්ථාව 
නොලැබුනි.

දැන් නාටකය අවසානය.. කිසිදු ප්‍රේක්ෂකයෙක් නැති ප්‍රේක්ෂකාගායේ මම නැගිට තනියෙන් අප්පොඩි තැලූවෙමි.
හුවක් කියා විසිල් දෙකක්ද ගැසුවෙමි..

ඉතාමත් සංවේගී ඔබගේ පසු රංගනයද 
මේ මොහොතේ මා මතක් කල යුතුය.
මංද යත් නොසිතූ මොහොතක සිදුවූ
අවසාන් ජවනිකාවත් සමඟ තිර පිටක් 
නොමැතිව ඔබ ගත් උත්සාහය සැබැවෙන්ම
සංවේදී තාත්වික රංගනයකි..

ඔබගේ අනාගතයට සුභපතමි!!

තවත් කිසිදු ජවනිකාවක් නැතත්
ඔබගේ රංඟනය සදා අමරණීය ය.
අනුස්මරණිය ය.

දයාබර ප්‍රේමවන්ත නිළියනි..
ඔබට ජය ශ්‍රී!!!

මීට,
ඔබේ රංඟනයට පිස්සු වැටුනු
- රම් නම් බේබද්දා.

Monday, April 20, 2015

සරත් කල අහසට ලියමි.. 01





රාත්‍රිය පටන් ගෙන කොයි තරම් වේලා ගෙවී ඇත්දැයි නිනව්වක් නැත.නමුදු අඩකට කිට්ටු වන්නට ගෙවී ඇතැයි සිත කියයි.ඈතින් විටින් විට ඇසෙන රැහැයි හඬ හැරුන කොට සියල්ල නිස්චලය.නිහැඬිය..
මා හුස්ම ගන්නා හඬ සමහර විට මටම ඇසෙයි…
වසන්තයට සමුදී නොහැකිව හූල්ලන පරිසරය රාත්‍රී මූසලකම වැඩි කිරීමට මුක්කු ගසයි.මූණ එල්ලන් සිටීමෙන් පලක් නැත.ලොව සෘතු මාරු වෙයි.ගහ කොල සතා සිව්පාව පවා එය හොඳින් අවබෝධ කර ගත යුතු ධර්මතාවයකි.

උඹේ කට හඬ නොඇසී ගෙවී ඇත්තේ පැය 48 කි.48 දහස් වතාවකට වඩා මට උඹව මතක් වන්නට ඇත.මේ මොනයම් ආකාරයේ ආත්ම හුරුවක්දැයි මට නොවැටහෙයි.උඹෙන් තොර තත්පර මේ තරම් නොසන්සුන් වේ යැයි මම කෙදිනකවත් නොසිතුවෙමි.
නියපොතු හපයි,, එය කටින් කඩයි,, ජනේලය අරියි,, හඳ ඇත් දැයි බලයි,,
නැවත වසයි,, නියපොතු හපයි,, ජනේලය අරියි,, ඉර පායා ඇත්දෝ බැලයි,, යලි එය වසයි,,,
නිස්කාරනේ ගෙවෙන උඹෙන් තොර රෑ මම ඒ තරම් කාර්‍යබහුලය. පාළුව තනිකම් දැනෙන එමට රැයවල් ගෙවා ඇතත් මේ තරම් අපහසු රැයක් කෙදිනකවත් මා ගේවා නොමැත.. වෙලාව නම් ගත්වෙන සේයාවක් වත් නොපෙනේ..නමුදු හිත කියන්නේ හෑම විනාඩියකටම තප්පර ගෝනියක් ඇත කියාය.

උඹ හරි අපූරු තැනැත්තී.මා උණු උණුවේ මැවූ නැවුම් හීන බුක්ති විඳින එකී. අයිතිකාරී..මා ජීවිතයේ කිසිඳු බැඳීමක් මේ තරම් විඳ නොමැත..
එකින් එක හීන් සීරුවේ ගලපා කාලාන්තරයක පටන් මා සිහින මවා ඇත්තේ උඹම දැයි සිතෙන තරමට ඒ හීන උඹ සමඟ පෑහෙයි..
අනුන්ගේ බිත්තියක සිට අහම්බෙන් ඇහැ ගැටුන කවිකාර අම්මණ්ඩි.උඹ මුලින් කියූ ආකාරයට "මේක අහම්බයක් දිග කතාවක් නෙමෙයි.." යැයි දැන් හිත ඇස්වැසිය නොහැක..
ඔව්,, මෙය එපැයිමන්ට් එකක් නොදමා සිදු වුන අහඹුවකි.නමුත් දෙවියන්ගේ පොතේ අකුරක් නෑර මෙය ලියා තබා තියෙන්නට ඇත.මෙය දෙවියන් plan කර සිදු කල හමුවකි.

මේ එකඳු හෝ හැඟීමක් උඹේ හිත අහලපහලකවත් නොමැති බව මා හොඳා කාරම දනියි.නමුදු මේ සියල්ල මා සිත සැනසීමට.උඹයි මම යනු මගේ හැමදේම වී හමාරය.රැය දික් ගැහෙන්නට කළුවරට උඹ හිටියාම හොඳටෝම ඇතිය. රැය තව දිගය.මා ලිවිය යුතුය………



ඉවර නෑ………

R é D R ü M

M ü R D è R

Monday, April 13, 2015

බේබද්දාගේ ආදරය



උදේ ඉඳන් අතොරක් නැතිව කඩන් වැටෙන වැස්ස පරණ අවුරුද්දේ ඔක්කොම කුණු හෝදන්න වගෙයි,,
පොල් ගෙඩි සයිස් එකින් එක වැටෙන වැහි බිංඳුවලට තවත් දුම් උගුරක් පිම්ඹෙමි.
වසන්තය පැමිනි බව සේයා පරිසරයෙන්ද ඔප මට්ටම් කල පෙන්නයි..
මේ මා ජීවිතයේ කුමන සෘතුවක් ද??

ඇරියස් කවර් කිරීමට මෙන් මා අද මත් වූයේ මූණ සේදීමටත් කලියෙනි.
දවස ගෙවී ඇත,
මත් බව හිඳී නැත..

නාටකය හමාර වූ පසුත් ආලෝක දැල්වෙන වේදීකාවක් වගේ..

උඹ බැස ගිය පසුත් සම්පූර්ණයෙන්ම උඹ ඉන්න හිත වගේ..
තවත් දුම් වලල්ලක් පිම්ඹෙමි..

උඹ මා ජීවිතයේ වැරදුන එකම තැන නොවෙයි..

පොල්ගෙඩි සයිසි වැහි බිංඳු උහුලන්නේ පොලව වුවද,
පෙඟී බර වී එල්ල වැටෙන්නේ මා සිතය.
උඹට එය වගක් නැත.

මා නිවැරදි කල ආකාරයට උඹයි මමයි කියන්නේ මගේ හැමදේම පමනි.
මැරිලා යන්නට හිතෙන තරම් හුරු පුරුදු නැති රිදිල්ලක් හිත කල්තයි.
මා ටිකක් ටිකක්
මා නිහඬ වූ පසු සියල්ල එතනින් අහවර බව මා දනියි.
නමුත් මා නිහඬ විය යුතුය...

ආදරේ යනු මිනිසුන් සතුටින් තියන දෙයක් මිස දුකෙන් තියන දෙයක් නොවෙන බව මම තදින් විශ්වාස කරමි.

බලා හිඳිමි..

R é D R ü M

M ü R D è R

Thursday, April 9, 2015

Yanna Oba Yanna ath wela - Samitha Mudunkotuwa






යන්න ඔබ යන්න ඈත්වෙලා

මිරිඟුවකි සිහිනයකී

පිදූ ආදරේ...

Monday, April 6, 2015

බේබද්දාගේ ආදරේ



ආමි කඩේ යට බයිසිකලයා නවත්තා සිගරටුවක් දල්වගෙන අඩි මනිමින් මුහුද ලඟ තාප්ප කොටයට ගෑටුවෙමි..
ඡන්දන අයියා අයියා මේ පාර ගෙනා බඩු ඉස්තරම්‍ ය.. පලමු උගුරෙන්ම කන් වලින් "කීං.." ශබ්දයක් නිකුත් වීම ඇරඹුනේ ය.
ගෙන්දගම් පොලවේ උනුහුම හරි හැටි දන්න යටි පතුල ඉන් මිදී ගුවන් ගත වන එකම වෙලාව මෙයයි..

එල්ල ගත් මුහුණින් තාප්ප කොටය උඩ වාඩි උනෙමි.. ඈතින් පාලම උඩින් වඩින පොඩි හිමිනාන්සේලා සෘධියෙන් වඩිනවා මෙන් පේන්නේ මා සිටින්නේ උඩ නිසා වන්නට ඇත. නැතිනම් මුහුදෙන් උඩට විසිවෙන පිණි බිංදු වල විස්ම කර්මයකි.

මත් බව ඇගෙන් පෙර මට සිටි හොඳම හිතවතාය.අපි සතුටුසාමිච්චියේ යෙදෙන්නේ කාලෙකිනි.. අවරගිර අහස් කුස අග්ගිස්සට ඉර වැඩම කොට ඇත..
සෘධියෙන් වැඩි හිමිවරුන්ගේ සිවුරේ පාටට වැඩි වෙනසක් නැත.දැන් නැතිනම් තව මොහතකින් ඉර කඩා වැටේවි.
දවසේ වැඩ කනිසම අහවරව ගෙදර එන ස්වාමියෙකු බදා ගන්නට හිඳින බිරියක් මෙන් ලා රත් පැහැ මුහුද ඉපිල්ලෙයි.

මේ දවසේ වැඩි පුරම තනිකම දැනෙන මොහොතයි.. සතුන් සර්පයින් පවා ඔවුන්ගේ සාමීපතයන් සොයා පැමින යයි..
බහුතරයක් මිනිස්සුන්ගේ සතුටට පෙර ගෙවෙන සංක්‍රාන්තිකාලයයි..

උඹත් හරියට මුහුද වගේ..
නොගැඹුරු තැනින් පටන් ගනියි..
අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ගිල ගනියි..
සඟව ගනියි..
හරි ඉක්මනින් වෙනස් වෙයි..
ඒත් හැමෝම ආසයි,,,

මේ මගේ සතුටට පෙර සංක්‍රාන්ති සමයද??

සරත්කලත්, හැන්දෑවත්, මමත් අතර මහ ලොකු වෙනසක් නැත..
තනිකම හූ කියන තරමට මූසලය.
කල්පයක් වූ ගෙවූ ගිම්හානයට වඩා සිත දුක් උහුලන්නේ නොඉවසන්නෙනේ වසන්තය උදා වීමට ඔන්න මෙන්න කියා තිබෙන තප්පර කිහිපයේදීය..

හිත මේ මොනවදෝ කියන්නේ??
හිත මොනවදෝ අහන්නේ???

බඳින්නට උත්තර නැති හෙහින් නෑසුනා සේ සිටීම හොඳය.

මම උඹව පටන් ගත්තේ නොගැඹුරු තැනිනි.දැන් නහය පැන අඟලක් වතුර ගොස් හමාරය ඔලුවට උඩින් තව අඩියක් ගියත් උඹ මත්තේ මියදීම හැරුණු කොට වෙන වික්ල්පයක් හිතට නැත.

"උඹ සහ මම කියන්නේ හැමදේම.."

මා මෙයට ඌණපූර්ණයක් කල යුතු සංදිස්ථානයකට මේ කතාව පැමිණ ඇත..

"උඹ සහ මම කියන්නේ මගේ හැමදේම."

හිත හුරුපුරුදු නැති අමුත් වේදනා රසයකින් සියුම් නහර තත් කම්පනය කරයි..
උඹ තරමට නිල අල්ලන්නට දන්න එකියක් මට ජීවිතේ හමුවූයේම නැත,,

මහ හුස්මකින් උඹව මවන් බාගෙට මැරිච්ච අඩකව හැරි ඉරට නක්කලේට කවාකාර දුම් වලල්ලක් පිම්බෙමි.

"ලොකු හුස්ම වලට තේරුම් තියනවා බබා"
ඉඳ හිට ආදරයෙන් අමතන උඹ කීය.

"මගේ මේ හුස්මේ තේරුම මොකද්ද??"
මොක්ද්දෝ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇස් වසන් ඇහුවෙමි.

"අහපු කිසිම ප්‍රශ්නෙකට උත්තර හමු උන් නෑ වගේ කියලා"

උඹ උත්තර බැඳීය. අදත් උඹ ලඟ උන්නම් මේ හුස්මේ තේරුම අහ ගැනීමට තිබුනි.

උඹ හරි ලේසියටම මගේ හිතේ අහු මුළු වල පවා ඇවිදියි,, උඹ නිල සාස්තරය දන්නේද සියුම් නහරවල දුවන කම්පනය දන්නේද එහෙයිනි.

උඹ මෙන්ම මාත් හිතේ අගුපිලකටවත් කිසිවෙකුත් වැද්ද නොගත්ත කාලයක් මා ජීවිතයේ ඇත.. කටුකම්බි දමා හිත වට කොර වැට බැඳි තිබුනි..
දැන් නුඹ ඇතුලු වී හමාරය,,
උඹට ඇවැසි කල යෑමට කටු කම්බි අයින් කල යුතුය.

මා තරම් ආත්මාර්ථකාමි කුහකයෙකු මම මීට පෙර දැක නැත..මා ඉදිරියටත් එසේම වනවා නම්..
මේ මා සීරුවට දිවෙන් කෙලගා වියාගත් දැලය..
මා සිරවී ඇත්තේ එහිය..

දහවලින් පසු දවසේ තවත් කාලයක් ඇති බව සනිටුහන් කරන්නට මෙන් අනිත් පසෙන් සඳු නැග ඇත.
උඹෙන් හැර මගේ ජීවිතයේ තවත් දෑ ඇති බව සනිටුහන් කිරීමට මට ඇත්තේ මොනවාද..

ඉර අන්තිම අඟලත් නොපෙනී ගියේ ය..
මාත් තවත් දුම් වලල්ලක් දවසේ කර වැඩ කොටසට ආචාරයක් ලෙස රවුම්කොට ඉරට පිම්ඹෙමි..

මගේ ආදරණීය සුදුහාමිනේ..

මේ තරමට හිත උඹත් සමඟ ජල්ලි ඇල්ලීමට උඹට තිබු අමුතු දෙය කුමක්ද??
හිත උඹට ආස කලේ මොකටද???

උත්තරයක් නොදැන ගත්තද හිත සම්පූර්ණ වශයෙන් උඹේ ගිලී ඇත..

මට හිතේ තියන හැමදේම උඹට කිවීමට මා දන්නේ ක්‍රම දෙකකි.

ඒ කිසිත් නොකියා නිහඬව සිටීමය,,,

අනෙක අකුරක්වත් අඩු නොකොට සියල්ල ලිවීමය,,,

මට නිහඬ විය නොහැක..
මා නිහඬ උනොත් කතාව එතනින් ඉවරය..

රාමා සීතා ආදරණීය ජෝඩුවක් වූයේ ප්‍රේමකතාවක් වූයේ වාල්මිකී ලියූ රාමායණයේ ය.
රාමත් වාල්මිකත් නොවෙයි මේ කතාව ලියන්නේ රාවණාය.
ඒය පුදුම ආදරයක් උමතුවක් වනු සහතිකය..

මත්ගතිය ඉස්මොලොස්සේ යන තරමට ප්‍රේමයෙන් මා වැලඳ ගෙන ඇත..

මා ආදරය කරන්නේ විශ්වාසයකටය..
මා විසින් මවා ගත් ඒකපුද්ගල හීනයකටය .. මගේ රම් මගේ වීදුරුවේ හැඩයේය...

ලෝකයා මේ මොහොත වන විට පවතින්නෙද නැද්ද යන්න මට වැදගත් නැත..
මා එහි ජීවත් වෙයි..
එය මියදෙන්නේද මට ඇවැසි දිනකය.

උඹ උන්නත්
නැතත් උඹ මගේම පමනක් වෙන්නේ එහෙයිනි..
උඹටවත් මගෙන් උඹ නැවත රැගෙන යා නොහැක..
ඉතිං තවකෙක් කෙලසනම් මගේ ආත්මෙන් උඹ රැගෙන යන්නද..

මම ටිකක් රස්තියාදු පෙනුමය..
ස්මාර්ට් පෙනුමක් මට නැත..
මම ටිකක් වාචාලය,හැසීරීම අව්‍යාජය
එහෙයින් මම ඩීසන්ද නැත..
මම උඹෙ උත්තරයත්
මම උඹේ ප්‍රශ්නයත් නොවෙයි..
මම උඹේ කිසි දෙයක් නොවෙයි..

එහෙත්,
උඹට ආදරය කරන මිනිසෙකි මම..
එතැනින් සියල්ල අහවරය..
උඹෙ යනු එයයි.

උඹයි මම කියන්නේ මගේ හැමදේම..
කළුම කළු ලේ වලට දිය වෙච්ච ආදරේ..
මරලා දානවා උඹව ..
සහතිකයි,
මරලා දානවා දවසක.

සිගරටුව ඉවර වී ටික වෙලාවක් ගෙවී ඇත.
ආදරණීය මුහුද උඹ මගේ උඹට කියු කිසි රහසක් ගැන කට හොල්ලනවා ඒම නෙමෙයි.. ස්තූතියට සිගරට් කොටය පූජා කොට ලාවට දැනෙන මත් ගතියෙන් බයිසිකලය දෙසට අඩි ගැන්නෙමි..



R é D R ü M

M ü R D è R

Sunday, April 5, 2015





මං හරියට කේන්තියන ඉක්මන් තිරන ගන්න මිනිස්සුන්ව හරි ඉක්මනට අතාරින,බේබද්දෙක්
ගොඩක් අඩුවෙන් මිනිස්සු කිට්ටු කර ගන්න කිට්ටු කර ගත්ත මිනිස්සු අතාරින් නැති එකෙක්. මේක පටන් ගැන්මක්..

ලෝකයා විසින් මාව හංවඩු ගහපු විදිය සහ මම මගේ ගැන හිතන් උන්න විදිය ගැන ජීවිතේ පලවෙනි වතාවට අන්තරයක් දැක්කා.

උඹ නොදැන ගත්තට මම උඹ හිංදා මහ ගොඩක් ඉවසනවා,,
අංශක 359 ඇතුලේ,,
මට පුළුවන් උපරිමය ..

ආදරයක් නැති හිතක් එක්ක දීඝ කන එක පහසු කෙලියක් නෙමෙයි..
මං දැනන් උන්නේ නෑ මම ඒ තරමට ඉවසන මිනිහෙක් බව...
උඹ හරි පරිස්සමට මාව හිතේ එලියෙන් තිබ්බා.. සමහර වෙලාවකට ඉදිකටු ඇනෙනවා වගේ නොදැනුනාම නොවෙයි..
ඒත් මම ආදරේ කරනවා.
අද උඹ කියනකම්,,
අකුරකින්වත් මම උඹටවත් ලෝකයටවත් දැනෙන්න දීලා නෑ..

මම දන්නවා මම දීඝ කන්නේ මාව අහලකවත් නැති හිතක් එක්ක...
මට ඒ තීරණේ ගන්න දහ දොලොස් වතාවක් හිතන්න ඔන උන් නෑ.
මොකද හරි මිම්මටම උඹ ඒකට ගැලපෙන නිසා.,

මම හොඳම කෙනා නෙමෙයි.
උඹේ උත්තරය නෙමෙයි..
උඹේ ජීවිතේවත් උඹේ ආදරේවත් නෙමෙයි.

උඹ අන්තිමය..
උඹෙන් පස්සේ ජීදිතෙ සම්පූරණයි..

උමතුවක් වෙන්න ඇති මේ..
මම ඒ උමතුවට ආසයි..

රාගය මෙන්ම ආදරත් දරදඬුව හිතට දැනිය යුතුයි. ඒ මගේ විශ්වාසයයි.
මා එය කරන බව මට දැනිය යුතුයි..
ඒ මගේ ප්‍රතිපත්තියයි..

අනේක විද ගැහැනුන් සමඟ නිදිවැද පිලුන් උන සංවේදී ඉන්ද්‍රයින් ගෙන් ආදරය එන්නත් වෙන පලමු නොයිඳුල් වතවයි..

රම් ආදර්‍රෙ කලොත් උඹේ ඇස් වලින් කඳුළු පනීවී.ඒක මතක හිටින රාම සීත ඉරිසියා වෙන ආදරයක් වේවි..

ගිනි කන්ඳක් උඩ ඉඳන් සීතලක් හොයන්න හිත ඇබ්බැහි වෙලා ඉවරයි.
නොසෑහෙන්න අරක්කු සිගරට් ගංජා වලට ඇබ්බැහි උන දැන් සුදුහාමිනේටත් ඇබ්බැහි වෙලා..

උඹ පතන කෙනා මම නෙමෙයි වෙන්න ඇති..
ඒත් මම උඹට ආදරේ කරන මිනිසෙක්.

ලියවිල්ලකට අකුරු වලට අහුවෙන මායිමෙන් එහාට පැනපු..

තව ලියන්න දෙයක් නෑ,,

"සද්ද නැතිව ඉන්න එපා අප්සට් වෙලා කියන්න ඕන ටික කිව්වේ."

උඹ හරි උඹ කිවේ කිව යුතුදේ.

මම තවත් තප්පරයක් නිහඬය..

මංද මා ඒ මා අසා සිටින නිසාය..
අපේ අන්තරය දුක පසුතැවීම,,
මා නිහඬ උන එ තප්පරයයි..

ඒ ආදර කරන්නේ ම බැවිනි.
උඹ විඳින්නියකි..

මම නිහඬ උන විට සියල්ල එයින් අහවරය.

අම්මා තාත්තා අප්පච්චි හැරුනු විට අනිත් සියල්ල මම උඹටයි මටයි බෙදා ගත්තා..
ඒ,,
උඹයි මමයි කියන්නේ හැමදේම සුදු හාමිනේ.

මරලා දානවා දවසක උඹව..

R é D R ü M

M ü R D è R

Friday, April 3, 2015

බඩ දරු අම්මාගේ ඝාතනය.



(සත්‍ය කතාවකි.)

උදේ බස් එකකට බඩ දරු අම්මා කෙනෙක් හැප්පුනා..පාර මැද ලේ පෙරන් වැටුනා,, කවුරුවත් කිට්ටු උන් නෑ..
මිනිස්සු නොවෙන අමුතු ජාතියක් (අපි අමුනුස්සයෝ කියමු) මිනිය උස්සන් ගියා ලෑල්ලකට.

හොඳ මුවහත් පිහියක් ගෙනාව. මුලින්ම කකුලේ වළලු කර ගාවට පිහියෙන් ගැහුවා වෙන් වෙන්න. කකුලේ ඇඟිලි එක්ක වෙන් වෙලා වැටුනා. අලුත් මිනිය නිසා ලේ ගලනවා.
ඊට පස්සේ දනිස් දෙකට ගැහුවා ඒ පිහියෙන්. දනිස් දෙකෙන් කකුල් වෙන් උනා..ලේ ගලනවා ලෑල්ල පුරා.
ඊට පස්සේ බඩ මැදට පිහියෙන් ගැහුවා. එක පාරින් වෙන් උන් නෑ. පිහිය අතුල්ලලා කැපුවා. ඊට පස්සේ. බබා එලියට අරන් එතන තිබ්බ කුණු එකට දැම්මා. එකින් එක බඩ වැල් බොකු එලියට ඇද්ද. අසූචිත් ගුලි ගුලි එලියට ආව.සම්පූර්ණෙන් බඩ සුද්ද කලා ජරාව සේරම කුණු එකට දැම්මා. ඊට පස්සේ පියයුරු දෙක කැපුවා. අන්තිමට බෙල්ලට ගැහුවා වෙන් වෙන්න. ඔලුව විතර වෙනම විසි වෙලා බිමට වැටුනා. ලේ බේරෙනවා. ලස්සන ගෑනු කෙනෙක්. ඒ උනාට වේදනාවෙන් විරූපි වෙලා. නිල මැස්සෝ වහනවා.. තනිකර කුණු ගොඩක්. වමනේ පනින්න ඔන්න මෙන්න ඒතරම් පිළිකුල්.
අන්තිමට අර මනුස්සයෙක් ඔලුව අහුල ගත්තා. මේක නියමයි කියලා අනේ අර අහිංසක ගෑනිගේ ඔලු කට්ට මැදින් දෙබෑ වෙන්න ගැහුවා, අර මිනීමස් ඔක්කොම එකතු කරලා බෑග් එකකට දැම්මා. මුන් මිනිස්සුද? මන් මුන්ගේ ජාතියෙද???
මේ තරම් සාහසික වෙන්න පුලුවන්ද???

මේ ටික කියෙව්වම හිතට දැනෙන හැඟීම කොහොමද? මොන තරම් ම්ලේචද??
මොන තරම් පිළිකුල් සහගත ද?? මනුස්සයෙක් උන එක ගැන තමන්ටම වෛර කර ගන්න හිතෙනවද??

මාතෘකාව ටිකක් වෙනස් කරමු. අප්පිරිය වැඩි නිසා. මැරුනේ ගෑනියෙක් නෙමෙයි මාළුවෙක්.. මැරුනා නෙමෙයි මැරුවා. මරලා ලෑල්ලට ගෙනාව. අර ගෑනිව පට්ට ගහපු විදියටම මාළුව පට්ට ගැහුවා..

එච්චර දැනෙන් නෑ නේද???

ඒත් ඒ මාළුවගේ දරුවොන්ට නෑදෑයොන්ට අනිත් මාළුන්ට මොනවා හිතෙනවා ඇතිද???

ටිකක් බොලඳයි වගේ නේද???

බලවතා දුර්වලයා මරන් කාවි. ඒක ලෝකේ පැවැත්ම. ඒක ලෝකේ පැවැත්ම නම් ඇයි මිනිස්සු බලවාදයට එරෙහිව විප්ලව කරන්නේ???

සත්තුන්ට එහෙම විප්ලව කරන්න බැරි නිසාද උන්ව මරන් කන එක විතරක් පැවැත්මක් වෙන්නේ,,

සිංහයා මස් කනවා. දුර්වල සත්තු මරන් කනවා.. මොකද ඌ හොඳ නරක දන් නෑ. ඌ තිරිසනෙක්..
අපි මිනිස්සු, මනසින් උසස්. අපි මස් නොකෑවොත් මැරෙන් නෑ. ඒ බව දැන දැනත් අපි මස් කනවා.. අපි මොක්කුද?? තිරිසන්නුන්ගෙන් වෙනස් වෙනවද???

ජාතික ගීය දෙමළෙන් කියනවා කියලා ගොත්‍රවාදයක් ගැන කතා කරනවා මහ ලොකු දැන උගත් මිනිස්සු. ලබ්බ…
ගෝත්‍රිකයෝ කියන්නේ මේකට.. තිරිසන්නු කියන්නේ මේකට..
පව්කාරයෝ කියන්නේ අපිට..

මන් ආයේ මනුස්ස ආත්මයක් ලබන් නෑ..
මන් පව්කාරයෙක්.. මම අද ඒ මාළුවා කපනවා ජීවිතේ පලවෙනි සහ අන්තිම පාරට බලන් හිටියා.. මන් සාප කරනවා මට, මගේ මිනිය කෑලි වලට කපලා ලෑල්ලක විකුනන්න කියලා..
මන් පව්කාරයෙක්.. මන් මාළු මස් නොකෑවට මන් ඒ මිනිය කපනවා බලන් හිටියා. ඔය කරන වැඩේ වැරදියි කියන්න කොන්ද පන තිබ්බේ නෑ. මන් සල්ලිදීලා ඒ මලකුණ ගත්තා.. මන් හෙට දානෙට හමුදුරුවොන්ට කන්න ගෙදර ගෙනාව.
උපාසක ඇත්තෝ හෙට මලකුණ සාංගික කරල පිං ගනීවි.මලකුණ කාපු හාමුදුරුවෝ පිං දේවී. උන් කෑවේ මම මුලින් කතා කර ගෑනු කෙනා මීනීමස් නම්. ඈක්කා… මාළු නම් සාදු සාදු පිං.. තොපිවත් මම වත් ආයේ මනුස්ස ආත්ම ලබන් නෑ. මන් මට සාප කරනවා මම කරපු පවට..

එතකොට තොපි???

R é D R ü M

M ü R D è R

අන්දර කැකුළේ නාඩන්




සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

සුන්දර උයන් පෙතක..

සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

සුන්දර උයන් පෙතක..


ගායනය - සේනානායක වෙරලියද්ද


පිං ඇත්තෝ පිං ගනිති.කොයි තරම් අසාධාරණ සමාජ ව්‍යාප්තියක්ද.. අද වෙනකොට නිවන් දකින්න පුළුවන් කලින් නිවන් දැක්ක කෙනෙක්ට පමනයි.
උඹලා පරිස්සමින් සොබාදහම බලන් ඉන්නවා..
පව් කරන්න එපා!!!

සටහන - රම්.

Wednesday, April 1, 2015

ආදරණීය සුදු හාමිනේට



__

සොලොස් කලා පිරි පුරහඳ අවරගෙට
සඳත් බැස යවුත් රැය හා වී දබර
නුඹෙන් තොර කිසිත් සැනසිලි නෑ මෙලොව
ඉතිං බැස නොයන් සොඳුරියේ හිතත් ගෙන

ගඟත් බැස යාවි ලාඔළු ගෙඩි රැගෙන
තවත් ඉවුරකදි හමු වෙන පැතුම් ගෙන
ඔබෙන් තොර පැතුම් මා හට නෑ දිවිය
ඉතිං බැස යාමු ගඟ හා ජලය ලෙස

පසත් කර මතත් උඹ ලඟ හිඳින විට
තවත් මදු බවක් නැත ඔබ තොරින් ලොව
උඹත් නොමැති ලොව මෙහි පැවතිය නොහැක
ඉතිං මනමාලි උඹ කල අරුම හිත

R é D R ü M

M ü R D è R


මං ජීවිතේ අදහපු ධර්මතාවයක් තිබුනා. ඒ මම අනිත් උන්ගේ ජීවිත වල අත්‍යාවශ්‍යම පුද්ගලයෙක් වුවද කිසිවෙකුත් මගේ ජීවිතේ අත්‍යාවශ්‍යම(නැතිව බැරි උන්) නොකර ගෙන ඉන්න..

උඹ දැවටිච්ච ලුණු ඇඹුල් එකතු කල පදම් දමපු හිත උඹව හැම වෙලේම අහනවා.
ඒක මගේ දුර්වලකම නෙමෙයි.
උඹට තියන ආදරේ..
ආදරේ දුර්වලකමක් නෙමෙයි,
හයියක්…
මට ඒක දැනුනේ සැබෑවටම ආදරේ දැනුනාම..
දවසක උඹටත් ඒක දැනේවි.ආත්මයම වෙව්ලන්න.

සටහන - රම්.

සෙනෙහේ බඳුන බිඳුන



පතා ආ සංසාර පැතුමක්
වගේ හිත ලඟ දැවටිලා
ඔතාගෙන ආ පෙමක් හෙමිහිට
ඈ දෙපා ලඟ පොඩි වෙනා

වතාවක් බිම වැටී බිඳුනම
කඳුළු මැලියම් තැරෙව්වා
බිඳුනු පසු ඇත බඳුන නැවතත්
බඳුන් හැඩ ගෙන හිටගෙනා

බදාගෙන මා බඳුන ගෙන විත්
සෙනෙහෙ මී විත පිරෙව්වා
හෙමින් තොල ගා රසය විඳිමින්
විඩා බර හිත සැනෙහුවා

නොසිතු මොහොතක දෑත ලිස්සා
බිම වැටී එය කුඩු උනා
හීනයක් මෙන් දැනෙයි දිවියම
හැඩි වෙලා හිත නැවතුනා

දොසක් නෑ උඹ හට කුමාරියේ
දෑත ලිස්සා වැටි නිසා
නුඹේ වරදක් නොවෙයි කුමරී
ලෝකයම නපුරුයි සිතා

ඉතින් නැවතත් බඳුන ඇත
මේසයේ උඩ හිටගෙන
කඳුළු මැලියන් ගැල්වූ පසු
ඇත බඳුනක හැඩය ගෙන
එපා යැයි කෑලි විසි කොට
නොහැක මට එය
තවත් බඳුනක් නොමැත මා හට
සෙනෙහෙ මීවිත දෝතින් ගෙන
පුරවා හැඩ දමමු නැවත එය

උඹෙයි මගෙයි
සෙනෙහේ බඳුන…

R é D R ü M

M ü R D è R