Tuesday, May 13, 2014

අහවරයි ලමාතැනී



මේ ලෝකේ මහ පුදුම තැනක්.
දවසින් දවස අපූරු මිනිස්සු හම්බෙනවා.අපූරු දේවල් හිතට දැනෙනවා.
අද මගේ ලඟින් වාඩි උනේ බඩ දරු අම්ම කෙනෙක්.
මූණ හරි පිං පාටයි.
පුතෙක් වෙන්න ඇති මම හිතින් මටම කියා ගත්තා.
අපිටත් මුළින් පුතෙක් හම්බුනොත් හොඳයි. එක්කෙනෙක් මදි මට ගොඩක් ලමයි හදන්න ඕන.
උඹ කියපු කතාවක් මතක් උනා.
මගේ මුනුපුරුක්ගේ ආච්චි විදියට මැරෙනවද අහපු දවසේ උඹ සද්ද නැතිව උන්න හංද මම හිතුවේ උඹ හදන ලමයින් ගේ අප්පච්චිත් මම කියලා.
උඹේ ලෝකේ මම කවදාවත් උන්නේ නෑ කියලා උඹට කියන්න ගොඩක් කල් නොගිය නම්..ඒ ලමයින්ට අප්පච්චි කෙනෙක් නෙමෙයි ඉන්නේ උඹේ ජීවිතේම කර ගත්ත තාත්තා කෙනෙක් බව දැනන් උන්නම්.
මැනිං මාර්කට් එකේ එළවළු වගේ තොග මිලට හීන සේරම සින්න වෙලා ගියා.මට මුකුත් කර ගන්න ණයක් වත් ඉල්ල ගන්න කවුරුවත් නැති තැනකදි.

ඇස් පියන් ලොකු හුස්මක් ගත්තේ තව ටිකක් උඹව පපුව ගැඹු‍රට ඔබා ගන්න.

අම්මගේ බඩට ආපු දවසේ ඉඳන් මිනිස්සු මොන තරම් ලෝබයෝ වෙනවද.
අසූචි,මුත්‍රා,ලේ කුණු හැමදේම පිරුනු බඩ තමයි අපිට ජීවිතේ හම්බෙන පලවෙනිම සුරක්ෂිත තැන.
අපි ඒක පුළුවන් තරම් තදේට අල්ල ගන්නවා.

දොස්තර මහත්තය නම මසක් සම්පූර්ණ උනාම අපිව කකුළෙන් ඇදල එලියට ගන්නවා..අපි බෑඟිරි දීලා අඬන්න ගන්නේ කකුලෙන් ඇද්ද වේදනාව නිසාම නෙමෙයි.
ජීවිතේ හම්බුන පලවෙනි හොඳම සුරක්ෂිත තැන
අපි වැඩියෙන්ම ආදරේ කරපු දේ අපිට නැති උනා නේද කියන තැවුල්ලට.
ඊට පස්සෙ නර්ස් නෝන අපිව අරන් අම්මගේ පපුව උඩින් තියල තන පුඩුව කටට ගහනවා.
ඇඬිල්ල නතර වෙන්න මහ වෙලාවක් යන් නෑ කලින්ට වඩා හොඳ සුරක්ෂිත උණුහුමක් ආදරයක් ලැබුනා නේද කියලා පුංචි හිත තේරුම් ගන්නවා.
ඒත් දඩබ්බර උන් ඒක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා.
අපේ අම්මට මම හම්බුන වෙලාවෙත් මාව අම්මගේ පපුව උඩින් තියලා තියෙන්නේ මෙන්න ඔයාට දඩබ්බර කොලු පැටියෙක් හම්බුනේ කියලා , කියල අම්ම මට කියලා තියනවා.
තන පුඩුව කටේ ගහන් ඉන්න නොදරුවා නර්ස් නෝනා අංකයක් අතේ එල්ලලා ට්‍රොලි‍යෙන් තිබ්බ ගමන් ආයේ ඇඩිල්ල පටන් ගන්නවා. ඒ ජීවිතේට ලැබුනු දෙවැනි උනුහුමත් නැති උනාදෝ බයට.

ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකම් හම්බෙන පලවෙනි දේ ජීවිතේ හොඳම දේ මේක තමයි හොඳම දේ ඊට එහා ලෝක‍යක් නෑ කියලා මිනිස්සු හිතනවා.
ඒක මනුස්ස වර්ගයාට පොදු ගොන්කමක්.

ඒත් ඊට වඩා උණුහුමක් ආදරයක් සුරක්ෂිත බවක් දැනෙන දෙවැනි දේ හම්බ වුනාම මොලේ තියෙන ඉක්මනට වෙනස් වෙන හිත් තියන මිනිස්සු ඒකට අනුවර්තනය වෙනවා.ඇත්ත ඒක තමයි මොලේ තියන බුද්ධිමත් මිනිස්සුන්ගේ හැටි සහ පැවැත්ම..

ඒත් හැමවෙලේම මිනිස්සන්ට අමතක වෙන දෙයක් තියනවා.මේ ලෝකේ දඩබ්බර කිසිම දේකට වෙනස් වෙන් නැති මිනිස්සු කොට්ටාසෙකුත් මේ ලොකේ ජීවත් වෙන බව.
උන්ට අල්ල ගත්ත පලවෙනි දේ මොන තරම් කුණු ගොඩක් උනත් ඒක තමයි ජීවිතේ තියනකම් හොඳම දේ.
සමහර විට ඒ උන්ගේ ගොන්කම වෙන්න ඇති.දන්නවා උන්ට පැවත්මක් නෑ කියලා. ඒත් එහෙම මිනිස්සුත් ලෝකේ ඉන්නවා.

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment