Monday, April 20, 2015

සරත් කල අහසට ලියමි.. 01





රාත්‍රිය පටන් ගෙන කොයි තරම් වේලා ගෙවී ඇත්දැයි නිනව්වක් නැත.නමුදු අඩකට කිට්ටු වන්නට ගෙවී ඇතැයි සිත කියයි.ඈතින් විටින් විට ඇසෙන රැහැයි හඬ හැරුන කොට සියල්ල නිස්චලය.නිහැඬිය..
මා හුස්ම ගන්නා හඬ සමහර විට මටම ඇසෙයි…
වසන්තයට සමුදී නොහැකිව හූල්ලන පරිසරය රාත්‍රී මූසලකම වැඩි කිරීමට මුක්කු ගසයි.මූණ එල්ලන් සිටීමෙන් පලක් නැත.ලොව සෘතු මාරු වෙයි.ගහ කොල සතා සිව්පාව පවා එය හොඳින් අවබෝධ කර ගත යුතු ධර්මතාවයකි.

උඹේ කට හඬ නොඇසී ගෙවී ඇත්තේ පැය 48 කි.48 දහස් වතාවකට වඩා මට උඹව මතක් වන්නට ඇත.මේ මොනයම් ආකාරයේ ආත්ම හුරුවක්දැයි මට නොවැටහෙයි.උඹෙන් තොර තත්පර මේ තරම් නොසන්සුන් වේ යැයි මම කෙදිනකවත් නොසිතුවෙමි.
නියපොතු හපයි,, එය කටින් කඩයි,, ජනේලය අරියි,, හඳ ඇත් දැයි බලයි,,
නැවත වසයි,, නියපොතු හපයි,, ජනේලය අරියි,, ඉර පායා ඇත්දෝ බැලයි,, යලි එය වසයි,,,
නිස්කාරනේ ගෙවෙන උඹෙන් තොර රෑ මම ඒ තරම් කාර්‍යබහුලය. පාළුව තනිකම් දැනෙන එමට රැයවල් ගෙවා ඇතත් මේ තරම් අපහසු රැයක් කෙදිනකවත් මා ගේවා නොමැත.. වෙලාව නම් ගත්වෙන සේයාවක් වත් නොපෙනේ..නමුදු හිත කියන්නේ හෑම විනාඩියකටම තප්පර ගෝනියක් ඇත කියාය.

උඹ හරි අපූරු තැනැත්තී.මා උණු උණුවේ මැවූ නැවුම් හීන බුක්ති විඳින එකී. අයිතිකාරී..මා ජීවිතයේ කිසිඳු බැඳීමක් මේ තරම් විඳ නොමැත..
එකින් එක හීන් සීරුවේ ගලපා කාලාන්තරයක පටන් මා සිහින මවා ඇත්තේ උඹම දැයි සිතෙන තරමට ඒ හීන උඹ සමඟ පෑහෙයි..
අනුන්ගේ බිත්තියක සිට අහම්බෙන් ඇහැ ගැටුන කවිකාර අම්මණ්ඩි.උඹ මුලින් කියූ ආකාරයට "මේක අහම්බයක් දිග කතාවක් නෙමෙයි.." යැයි දැන් හිත ඇස්වැසිය නොහැක..
ඔව්,, මෙය එපැයිමන්ට් එකක් නොදමා සිදු වුන අහඹුවකි.නමුත් දෙවියන්ගේ පොතේ අකුරක් නෑර මෙය ලියා තබා තියෙන්නට ඇත.මෙය දෙවියන් plan කර සිදු කල හමුවකි.

මේ එකඳු හෝ හැඟීමක් උඹේ හිත අහලපහලකවත් නොමැති බව මා හොඳා කාරම දනියි.නමුදු මේ සියල්ල මා සිත සැනසීමට.උඹයි මම යනු මගේ හැමදේම වී හමාරය.රැය දික් ගැහෙන්නට කළුවරට උඹ හිටියාම හොඳටෝම ඇතිය. රැය තව දිගය.මා ලිවිය යුතුය………



ඉවර නෑ………

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment