Monday, April 6, 2015

බේබද්දාගේ ආදරේ



ආමි කඩේ යට බයිසිකලයා නවත්තා සිගරටුවක් දල්වගෙන අඩි මනිමින් මුහුද ලඟ තාප්ප කොටයට ගෑටුවෙමි..
ඡන්දන අයියා අයියා මේ පාර ගෙනා බඩු ඉස්තරම්‍ ය.. පලමු උගුරෙන්ම කන් වලින් "කීං.." ශබ්දයක් නිකුත් වීම ඇරඹුනේ ය.
ගෙන්දගම් පොලවේ උනුහුම හරි හැටි දන්න යටි පතුල ඉන් මිදී ගුවන් ගත වන එකම වෙලාව මෙයයි..

එල්ල ගත් මුහුණින් තාප්ප කොටය උඩ වාඩි උනෙමි.. ඈතින් පාලම උඩින් වඩින පොඩි හිමිනාන්සේලා සෘධියෙන් වඩිනවා මෙන් පේන්නේ මා සිටින්නේ උඩ නිසා වන්නට ඇත. නැතිනම් මුහුදෙන් උඩට විසිවෙන පිණි බිංදු වල විස්ම කර්මයකි.

මත් බව ඇගෙන් පෙර මට සිටි හොඳම හිතවතාය.අපි සතුටුසාමිච්චියේ යෙදෙන්නේ කාලෙකිනි.. අවරගිර අහස් කුස අග්ගිස්සට ඉර වැඩම කොට ඇත..
සෘධියෙන් වැඩි හිමිවරුන්ගේ සිවුරේ පාටට වැඩි වෙනසක් නැත.දැන් නැතිනම් තව මොහතකින් ඉර කඩා වැටේවි.
දවසේ වැඩ කනිසම අහවරව ගෙදර එන ස්වාමියෙකු බදා ගන්නට හිඳින බිරියක් මෙන් ලා රත් පැහැ මුහුද ඉපිල්ලෙයි.

මේ දවසේ වැඩි පුරම තනිකම දැනෙන මොහොතයි.. සතුන් සර්පයින් පවා ඔවුන්ගේ සාමීපතයන් සොයා පැමින යයි..
බහුතරයක් මිනිස්සුන්ගේ සතුටට පෙර ගෙවෙන සංක්‍රාන්තිකාලයයි..

උඹත් හරියට මුහුද වගේ..
නොගැඹුරු තැනින් පටන් ගනියි..
අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ගිල ගනියි..
සඟව ගනියි..
හරි ඉක්මනින් වෙනස් වෙයි..
ඒත් හැමෝම ආසයි,,,

මේ මගේ සතුටට පෙර සංක්‍රාන්ති සමයද??

සරත්කලත්, හැන්දෑවත්, මමත් අතර මහ ලොකු වෙනසක් නැත..
තනිකම හූ කියන තරමට මූසලය.
කල්පයක් වූ ගෙවූ ගිම්හානයට වඩා සිත දුක් උහුලන්නේ නොඉවසන්නෙනේ වසන්තය උදා වීමට ඔන්න මෙන්න කියා තිබෙන තප්පර කිහිපයේදීය..

හිත මේ මොනවදෝ කියන්නේ??
හිත මොනවදෝ අහන්නේ???

බඳින්නට උත්තර නැති හෙහින් නෑසුනා සේ සිටීම හොඳය.

මම උඹව පටන් ගත්තේ නොගැඹුරු තැනිනි.දැන් නහය පැන අඟලක් වතුර ගොස් හමාරය ඔලුවට උඩින් තව අඩියක් ගියත් උඹ මත්තේ මියදීම හැරුණු කොට වෙන වික්ල්පයක් හිතට නැත.

"උඹ සහ මම කියන්නේ හැමදේම.."

මා මෙයට ඌණපූර්ණයක් කල යුතු සංදිස්ථානයකට මේ කතාව පැමිණ ඇත..

"උඹ සහ මම කියන්නේ මගේ හැමදේම."

හිත හුරුපුරුදු නැති අමුත් වේදනා රසයකින් සියුම් නහර තත් කම්පනය කරයි..
උඹ තරමට නිල අල්ලන්නට දන්න එකියක් මට ජීවිතේ හමුවූයේම නැත,,

මහ හුස්මකින් උඹව මවන් බාගෙට මැරිච්ච අඩකව හැරි ඉරට නක්කලේට කවාකාර දුම් වලල්ලක් පිම්බෙමි.

"ලොකු හුස්ම වලට තේරුම් තියනවා බබා"
ඉඳ හිට ආදරයෙන් අමතන උඹ කීය.

"මගේ මේ හුස්මේ තේරුම මොකද්ද??"
මොක්ද්දෝ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇස් වසන් ඇහුවෙමි.

"අහපු කිසිම ප්‍රශ්නෙකට උත්තර හමු උන් නෑ වගේ කියලා"

උඹ උත්තර බැඳීය. අදත් උඹ ලඟ උන්නම් මේ හුස්මේ තේරුම අහ ගැනීමට තිබුනි.

උඹ හරි ලේසියටම මගේ හිතේ අහු මුළු වල පවා ඇවිදියි,, උඹ නිල සාස්තරය දන්නේද සියුම් නහරවල දුවන කම්පනය දන්නේද එහෙයිනි.

උඹ මෙන්ම මාත් හිතේ අගුපිලකටවත් කිසිවෙකුත් වැද්ද නොගත්ත කාලයක් මා ජීවිතයේ ඇත.. කටුකම්බි දමා හිත වට කොර වැට බැඳි තිබුනි..
දැන් නුඹ ඇතුලු වී හමාරය,,
උඹට ඇවැසි කල යෑමට කටු කම්බි අයින් කල යුතුය.

මා තරම් ආත්මාර්ථකාමි කුහකයෙකු මම මීට පෙර දැක නැත..මා ඉදිරියටත් එසේම වනවා නම්..
මේ මා සීරුවට දිවෙන් කෙලගා වියාගත් දැලය..
මා සිරවී ඇත්තේ එහිය..

දහවලින් පසු දවසේ තවත් කාලයක් ඇති බව සනිටුහන් කරන්නට මෙන් අනිත් පසෙන් සඳු නැග ඇත.
උඹෙන් හැර මගේ ජීවිතයේ තවත් දෑ ඇති බව සනිටුහන් කිරීමට මට ඇත්තේ මොනවාද..

ඉර අන්තිම අඟලත් නොපෙනී ගියේ ය..
මාත් තවත් දුම් වලල්ලක් දවසේ කර වැඩ කොටසට ආචාරයක් ලෙස රවුම්කොට ඉරට පිම්ඹෙමි..

මගේ ආදරණීය සුදුහාමිනේ..

මේ තරමට හිත උඹත් සමඟ ජල්ලි ඇල්ලීමට උඹට තිබු අමුතු දෙය කුමක්ද??
හිත උඹට ආස කලේ මොකටද???

උත්තරයක් නොදැන ගත්තද හිත සම්පූර්ණ වශයෙන් උඹේ ගිලී ඇත..

මට හිතේ තියන හැමදේම උඹට කිවීමට මා දන්නේ ක්‍රම දෙකකි.

ඒ කිසිත් නොකියා නිහඬව සිටීමය,,,

අනෙක අකුරක්වත් අඩු නොකොට සියල්ල ලිවීමය,,,

මට නිහඬ විය නොහැක..
මා නිහඬ උනොත් කතාව එතනින් ඉවරය..

රාමා සීතා ආදරණීය ජෝඩුවක් වූයේ ප්‍රේමකතාවක් වූයේ වාල්මිකී ලියූ රාමායණයේ ය.
රාමත් වාල්මිකත් නොවෙයි මේ කතාව ලියන්නේ රාවණාය.
ඒය පුදුම ආදරයක් උමතුවක් වනු සහතිකය..

මත්ගතිය ඉස්මොලොස්සේ යන තරමට ප්‍රේමයෙන් මා වැලඳ ගෙන ඇත..

මා ආදරය කරන්නේ විශ්වාසයකටය..
මා විසින් මවා ගත් ඒකපුද්ගල හීනයකටය .. මගේ රම් මගේ වීදුරුවේ හැඩයේය...

ලෝකයා මේ මොහොත වන විට පවතින්නෙද නැද්ද යන්න මට වැදගත් නැත..
මා එහි ජීවත් වෙයි..
එය මියදෙන්නේද මට ඇවැසි දිනකය.

උඹ උන්නත්
නැතත් උඹ මගේම පමනක් වෙන්නේ එහෙයිනි..
උඹටවත් මගෙන් උඹ නැවත රැගෙන යා නොහැක..
ඉතිං තවකෙක් කෙලසනම් මගේ ආත්මෙන් උඹ රැගෙන යන්නද..

මම ටිකක් රස්තියාදු පෙනුමය..
ස්මාර්ට් පෙනුමක් මට නැත..
මම ටිකක් වාචාලය,හැසීරීම අව්‍යාජය
එහෙයින් මම ඩීසන්ද නැත..
මම උඹෙ උත්තරයත්
මම උඹේ ප්‍රශ්නයත් නොවෙයි..
මම උඹේ කිසි දෙයක් නොවෙයි..

එහෙත්,
උඹට ආදරය කරන මිනිසෙකි මම..
එතැනින් සියල්ල අහවරය..
උඹෙ යනු එයයි.

උඹයි මම කියන්නේ මගේ හැමදේම..
කළුම කළු ලේ වලට දිය වෙච්ච ආදරේ..
මරලා දානවා උඹව ..
සහතිකයි,
මරලා දානවා දවසක.

සිගරටුව ඉවර වී ටික වෙලාවක් ගෙවී ඇත.
ආදරණීය මුහුද උඹ මගේ උඹට කියු කිසි රහසක් ගැන කට හොල්ලනවා ඒම නෙමෙයි.. ස්තූතියට සිගරට් කොටය පූජා කොට ලාවට දැනෙන මත් ගතියෙන් බයිසිකලය දෙසට අඩි ගැන්නෙමි..



R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment